Thursday 1 February 2018

කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!


මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත් නැවත අවශ්‍ය ඊළඟ මැතිවරණයටය. කතිරකාරයාටම අනුව ජනතාවගේ පරමාධිපත්‍යයයනු එයයි. තව ලෙසකින් එය ජනතාවගේ සර්වජන ඡන්ද බලය හෝ මොකක් හෝය. ධන බලය කාය බලය පිරිස් බලය ඇත්තන් උනුන් බෙලි කපා ගනිමින් ජර පත් පුරාණ කඩු හරඹය වෙනුවට ඉරි කැබල්ලකින් ඉරි කැබැල්ලක් කපා බෙල්ලයි රජකමයි දෙකම බේරා දෙන පැන්සල් කොටයේ දේශපාලන බල හරඹය රට වැසියා මත කවර අර්ථ කථනයෙන් පවරා දුන්නද අවසාන අර්ථයේදී බෙල්ල යන්නට නියමිත රට වැසියාගේය. ඔළුව නැති කතිරකාරයෙක් මැතිවරණ ප්‍රතිඵලයේ තීන්දුකාරක සාධකය වූයේ ඊට අනුවය.

රට දන්නා තරමට බහුතර කතිරය හුදෙක් කතිර කොලය අතට ලැබෙන දාට පමණක් පෑනක් පැන්සලක් හොලවන්නෙකුගේය. තැපැල් ඡන්දය හෝ සාක්ෂරතාව පිළිබඳ ප්‍රවාදය කතා කරන්නේ නම් තනි වාක්‍යයකිනුත් පුළුවන. මෙතෙක් තමන් පුරුදු පුහුණු කරනු ලදුව තිබෙන යාන්ත්‍රික ක්‍රියාවලියම තැපෑලෙන් ද ප්‍රකට කරමින් සිටින බවය. එය කාඩ්බෝඩ් රාමුවක් තුළ තමන් විසින් තමන්ගේම හෘද සාක්ෂිය සීමා කර ගනිමින් ඉරි කැබැල්ලකින් ඉරි කැබැල්ලක් කපා කුරුට්ටන කතිරයමය. තීරකයා ද නිරීක්ෂකයා ද ඒ මොහොතේ තමාම යැයි දැන සිටි බවට සිහි කල්පනාවක් ඒ කතිරය තුළ ද විරලය. පක්ෂය පාට හෝ පුරුදු පුද්ගල ප්‍රතිරූපය ඉදිරියේ දපනය වීමක් පමණි. කතිරය කුරුට්ටන්නේ නාස්තියට දුෂණයට පීඩනයට පක්ෂවීමක් විපක්ෂවීමක් සිතා නොවේ. තමන් කුරුට්ටන කතිර කොළය යොමුවන එකා මොන අපතයා වුනත් ඌ දිනවීමටය.

තනි තනිවත් කුඩා හෝ විශාල කණ්ඩායම් හැටියටත් ජනවර්ග හෝ පන්ති හැටියටත් උගත් නූගත් වශයෙනුත් විසිර පවතින කතිරකරුගේ දේශපාලන ව්‍යවහාරය අත් හැර සලකනවිට කතිරකරු ලෙස මේ ඉන්නේ ජනතාවය. ජනතාව ලෙස ඉන්නේ කතිරකරුමය. කතිර සමයේදී නිදහස් සාධාරණ මැතිවරණයක් ලෙස එන ජන අභිලාෂය තුළ ඉන්නේ ද කතිරකරුමය. වේදිකාවට ගැලපෙන වඩාත් සංදර්ශනාත්මක හෝ වඩාත් ප්‍රචාරාත්මක වචනයන්ගෙන් පවසතොත් කතිරකරු හෙවත් ජනතාවගේ අභිලාෂය වන්නේ ජනමතයට ගරු කරන ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයකි. අපේක්ෂාව වන්නේ මැතිවරණයෙන් පසු යහපත් සමාජයක් සාධාරණ වෙළඳ පොළක් හොඳ ජීවන තත්වයක් වුවද මැතිවරණයෙන් පසු එවැනි ආශ්චර්යයක් අත් නොවිඳින්නේද මේ කතිරකරුමය. ජන අභිලාෂය හෝ ජනතා අපේක්ෂාව ලෙස මැතිවරණ සමයේ එන කතිරකාරයාගේ කේවල් වාක්‍යය එක අතකින් තමන් තමන්වම අන්දා ගැනීමක්ද සැක සහිතය. කතිරයෙන් බලයට පැමිණි පසු දේශපාලඥයා නාස්තියේ හොරකමේ යෙදෙන විට උගේ ආරක්ෂාව වෙනුවෙන් කඩේ යන්නේ ද නාස්තිය හොරකම සාධාරණය කරමින් උත්තර බඳින්නේ ද අපේක්ෂා බිඳගත් ජනතාව හෙවත් මේ කතිරකාරයාමය. ජන අභිලාෂයට පස්ස හරවා ගත් දූෂිත පුද්ගලයන් බලයට පත් කරවන බහුතර කතිරයේ නිරූපිත ජන මතය කිසි ලෙසකින්වත් අව්‍යාජ නැත. පුද්ගලික වාසිය පක්ෂය පාට පුද්ගල ප්‍රතිරූපය ඉදිරියේ තනි වූ විට හෝ ඡන්දපොළේ කාඩ්බෝඩ් රාමුව තුළ කො‍ටු වූ විට මේ අවාසනාවන්ත කතිරකාරයා දෙබිඩ්ඩෙකි. 

කතිරය සැකයෙන් තොරවම බල අරගලය සුජාත කරයිද යන්න ඒ අනුව තවදුරටත් ගැටළුවක් නොවේ. නිරීක්ෂණ කංඩායම් තත්ව සහතිකය නැතිව මේ සුජාත බර කරත්තයට අඩියක ගමණක් නැත. මැතිවරණ කොමසාරිස්, රජයේ නිළධාරින්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, නිරීක්ෂණ කංඩායම් සහ පාතාල කල්ලි යන සකලවිධ බළ ඇණි මේ කියන අජූත භාවයේ පංගුකාරයන්ය. සියලු ජන මාධ්‍ය ඔස්සේ ද ගෙන් ගෙට ගොස් ද අල්ලස් හෝ විකල්ප ක්‍රම ඔස්සේ ද පැන්සල් කොටය මෙහෙයවන පුරුදු දේශපාලන සදාචාරයම ඊළඟ මැතිවරණයේදීත් ප්‍රත්‍යක්ෂය. කතිරය පරණ පුරුදු හැඩයේ පරණ කතිරයමය. ඊළඟ මැතිවරණයේදීත් කතිරකරු පරණ කතිරකරුමය. ඊළඟ පශ්චාත් මැතිවරණ කසු කුසුවද පරණ එකමය. අලුත් වගේ පෙන්වන පරණ පොරොන්දු ගොඩක් සහිත අලුත් වගේ පෙන්වන පරණ ඔළු ගෙඩි සංඛ්‍යාවකින් පත් කරගත් අලුත් යැයි කියන ආණ්ඩුවද පරණ එකමය. 

කිසිදා අලුත් හෝ පරණ නොවන ප්‍රපංචය චන්දදායකයාය. මන්ද යත් චන්දදායකයෙක් මැතිවරණය තුළ නැති බැවිනි. සැඟවුනු අමුත්තෙකි. සඟවා තැබූ අමුත්තෙකි. බල අරගලයේදී තීරණාත්මක නිසා කරළියේ මැතිවරණය රඟ දැක්වුන ද චන්දදායකයා ආයිත්තම් කෙරන්නේ ප්‍රචාරක ශීර්ෂ පාඨයට පමනි. ඒ අනුව මැතිවරණයට පෙර සිටම චන්දදායකයා යනු අවලංගු ඡන්දයකි. ඡන්ද පත්‍රිකාව මත කුරුට්ටන භූමිකාව පැවැරී තිබෙන්නේ කතිරකාරයාටය. නමුත් මැතිවරණයෙන් පසු ඡන්ද පොළේදීම අතහැර දැමෙන්නේය. මුරකාවල් මැද ගණන් ගැනෙන්නේ අනුහස් ඇති කතිරයයි. ඡන්දදායකයා අතුරුදන් කරමින් පවත්වාගෙන යන මේ වැනි දේශපාලන ක්‍රමවේදයක් තුළ සර්ව ජන ඡන්දය පුස්සක් බවට පත් කොට ඇත. කොම්පියුටර් ජිල්මාට් කතා ඇත්තක් නම් ජනතා පමාධිපත්‍යය ද මිත්‍යාවකි.

සංක්‍රාන්තික කතිරකාරයෙකුට එහා ගිය සැබෑ ඡන්දදායකයෙකු හදා ගැනීමේදී සිවිල් සමාජ බලවේග අසමත්වීමත්, ඡන්ද පෙට්ටියේ මුද්‍රාව කතිරකාරයා වීමත් හෝ චන්දදායකයා අතුරුදන් වීමත් පයිසෙකට මායිම් නොකරමින් කතිර ගොඩ පහුරුගා ජන මතය ගණනය කරන අප්‍රබුද්ධම ක්‍රියාවලියක් මැතිවරණය ලෙස නාමකරණය වී ඇත. කොම්පියුටර් ජිල්මාට් ගැටලුව 2015 මැතිවරණයේදී විසඳී තිබුනේය. පරාජය වූ හැම මැතිවරණයකදීම කොම්පියුටර් ජිල්මාට් චෝදනාව නැගූ පිරිස ජය ගත් මැතිවරණයේදී එවැන්නක් සිදු නොවුන බවට නිවේදනය කළේය. ඒ අනුව කොම්පියුටරය දැන් ඒ අපවාදයෙන් ගොඩය. නමුත් ජනතාව අත් විඳිමින් සිටින රටේ දේශපාලන සදාචාරය තුළ කොම්පියුටර් කතා නැතත් කතා කරන්නට මහා පරිමාණ ජිල්මාට් සුලබය. කතිර ගොඩ මදිව අකුළාගෙන ගෙදර ගිය දූෂිත නාමධාරියා ගිය පයින් ආපිට හැරී ධූරාවලියේ හිටපු තැනම නැවත සිට ගැනීම පරාජිත දූෂිතයාගේ මෙන්ම ජයගත් දූෂිතයාගේද සාංගමික ජිල්මාට් එකකි. පක්ෂ දෙකක එකවර සාමාජිකත්වය දැරීම හෝ විවෘතවම ක්‍රියාකාරී ලෙස හැසිරීම මාර ජිල්මාට් එකකි. වොයිස් කට් දෙමින් හිනා වෙමින් බන්ධනාගාර රෝහල් ගතව- සුවපත්ව- පෙරට වඩා බලවත්ව- ඉතා ඉක්මනින් එළියට ඒම හෝ නීතියෙන් කට්ටි පනින්නට නීතියම යොදා ගනිමින් අධිකරණ නියෝග මත අත් අඩංගුවට පත් නොවී සිටින පට්ට දූෂිතයා ආශ්චර්ය සහ ජිල්මාට් අතර නන්නත්තාර වන්නට කතිරකාරයාට උරුම කොට තිබේ. 

කතිරකරු යනු දූෂණයේම අර්ධයකි. දූෂණය පහසු කරවා ගැනීමට අනුමත කරවා ගැනීමට නිපදවා ගත්තකි. දූෂිතයා හෝ දූෂණය හඳුනා ගැනීමේ සංවේදී බව හෝ ස්වකීය ගෞරවය අභිමානය පිළිබඳ දත්තයන් ද කතිරකරුගේ යාන්ත්‍රික ක්‍රියාවලිය තුළ නැත්තේ එබැවිනි. මෙතෙක් පැවැති හැම මැතිවරණයකදීම කතිරය ගණන් කිරීමෙන් පසු කතිර කොලය කතිරකරු සහ කතිරය ලබාදීමට වැඩ කළ සිවිල් සමාජ බලවේග යන සියල්ලම පැත්තකට දැමුනු බව කතිරකරුට සංවේදී නැත. ජනවරම හිස් ටින් එකක් කළ අතීතයක් සහ වර්තමානයක් අනාගතය සඳහා ද එයම නොකරනු ඇතැයි සහතිකයක් ද කතිරකරුට අවශ්‍ය නැත. අල්ලසට වාසියට හෝ මෙතෙක් කළ දූෂණ අක්‍රමිකතා යටපත් කර ගැනීමට පක්ෂය මාරු කිරීම හෝ මාරු කරවා ගැනීමේ හිරිකිත ප්‍රයෝගය කතිරකරු ඉදිරිපිට එදත්- අදත් සිදු කෙරෙමින් තිබේ. මේ නිසා මැතිවරණ ප්‍රතිඵලයේදී දකින්නට ලැබෙන යථාර්ථය ඉතාමත් සාමාන්‍යය. කතිරකාරයාගේ ප්‍රතිවාදියා සැබෑ ඡන්දදායකයා මිස මෙවැනි දූෂිතයන් නොවේ. සැබෑ ඡන්දදායකයාට විරුද්ධව සිය කතිරය පාවිච්චි කරන කතිරකරු ඡන්දදායකයා තමන් යැයි බරපතල ඇන්දීමක මාට්‍ටුවී සිටී. දූෂිතයා බලයට පත්වෙන්නේ නිතරඟයෙනි.

2018 මැතිවරණ වසර මේ උදාවී ඇත්තේ මෙබඳු අදේශපාලනික ව්‍යවහාරයක් ඇති රටකටය. පරමාදර්ශයන් විශ්වාසයන් හෝ අපේක්ෂාවන් හෑල්ලුවට ලක් කිරීම ඔස්සේ කතිරකරු සිවිල් සමාජ බලවේග සමග සන්ධාන ගතවීම වැළැක්වීම ක්‍රමය බවට පත්ව ඇති රටකටය. යහපාලනය අවුලක් වෙලා තිබුනත් යමපාලනය ගලවා දැමීමේ 2015 ජයග්‍රහණය තළු මරන්නට ලොකු ඉඩක් විවෘත කොට තබමින් ඔළුව නන්නත්තාර කරනු ලැබ ඇති ජනතාවක් සිටින රටකටය. ඇත්තටම ඡන්දදායකයා අතුරුදන් කළ මැතිවරණයක යථාර්ථය එසේය. නමුත් අන්ත පරාජයකින් රට බේරා ගන්නා මැතිවරණයක් නම් අවම වශයෙන් 2015 සංක්‍රාන්තික කතිරකරුවත් තවම සිටිය යුතුය. නැවත දන්වන තුරු සේවය අත්හි‍ටුවා ඇති සිවිල් සමාජ බලවේග ඒ තහනම නොතකා මේ සඳහා දිගටම සක්‍රීය විය යුතුය. සැකයට තුඩු දෙන කාරණය නම් 2015 උපන් ඒ සංක්‍රාන්තික කතිරකරුගේ හිරි ඔතප් බි‍ඳෙන වල්කම් පසු ගිය වසර දෙක තුන තුළත් අද පවා සිදුවීමය. 

තමන් නුසුදුස්සන් දූෂිතයන් බැවින් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් කතිරය කෙරෙහි ද විශ්වාසයක් අද වනවිට නැත. බලය සඳහා වශ්වාසය තබා සිටින්නේ මැතිවරණ හරඹයේදී වියදම් කරන මුදල් ප්‍රමාණය, යොදවන මැර බලය, මුර බලය, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම කෙතරම් දුරට කළ හැකිද සහ එවැනි කොන්දේසි සම්පූර්ණ කර ගන්නා අනීතික ක්‍රමවේදයන් කෙරෙහිය. මේ කරන්නේ දේශපාලනය යැයි කට කොණකින්වත් ඉතින් කිව හැකිද? මේ අශුද්ධ ජාවාරමකි. 2010න් ඈතට නොගොස් ගණන් බැලූ විට එදා ඇමතිකම් කළ පුද්ගලයන් 34කගේ ගසාකෑම පමණක් ජන මාධ්‍යයට අනුව රු. කෝටි 1,5000 කි. මෙදා බැඳුම්කර වංචාව කෝටි 8,000කි. මේ ඉලක්කම්වල ඇත්ත නැත්ත කොයික වෙතත් හොරකම මෙච්චර නොවේ. ඉමක් කොණක් නැත. මේ පාඩුව නිසා විඳවන්නේ කතිරකාරයාම වුනත් කතිරකාරයා ද මේ සියල්ලෙහි වගඋත්තර කාරයෙකි. පංගුකාරයෙකි. 2018 පළාත් පාලන හරඹයට අපේක්ෂිකාවකගෙන් ඇඟ මස් ඉල්ලුවේ ද කතිරකාරයා නොවේ. ඒත් කතිරකාරයා ඊට ද වගකිව යුතුය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය රටට අවශ්‍ය කර තිබේ. පි‍ටුවහලේ සිටින ඡන්දදායකයා ගෙන්වා ගැනීම 2018 මැතිවරණයෙන් පටන් ගත යුතු එබැවිනි. නමුත් දූෂණය හඳුනා ගැනීමේ තාක්ෂණය විද්‍යාව කලාව හෝ සාමාන්‍ය දැනීම ආසන්න කර දෙමින් කතිරකරුගේ බුද්ධිමය සීමාව පුළුල් කර දෙන සමාජ කතිකාවතට ප්‍රවේශයක් රට තුළ මේතාක් නැත. සිදුවිය යුත්තේ නම් එයයි. රට හදන්නට විද්‍යාර්තීන් ශිල්පීන් වෘත්තියවේදීන් රටේ නැති නම් පිටින් ගෙන්වා ගත හැක. ඡන්දදායකයා බවට සකස් කර ගත යුත්තේ උසස් කර ගත යුත්තේ කතිරකාරයාමය.
Share:

0 comments:

Post a Comment

Copyright © miniහෙක් | Powered by Blogger Design by Asantha K. Mirissearachchige