Saturday 27 February 2016

අපි මේ හදන්නෙ වව්ලාගේ මගුල් ගෙදර යන්න


ගෝලීය වෙළඳපොළ මිහිතලය මත බිහි විය යුතුමය. ගෞරවණීය ජීවිතයක් නිවහල් මරණයක් මිනිස් වර්ගයාට එතෙක් මෙතෙක් නොමැත. නමුත් අත්විඳින්නට සිදුව තිබෙන අහේතුව නිෂ්පාදකයාත් වෙළෙන්දාත් පාරිබෝගිකයාත් ප්‍රතිවිරෝධී ශක්තීන් වශයෙන් වෙන්ව පැවැතීමය. පාරිබෝගිකයාගේ මිළ දී ගැනීමේ ශක්තිය දුර්වල කරවන ධනවාදී මූල්‍ය කළමණාකරනය මානව සංහතියේ අපේක්ෂා භංග කරමින් සිටී.
පාරිබෝගිකයෙක් සහ වෙළඳ පොළක් නැති ඉතිහාසයක තිබුණේ ප්‍රාථමික පරිභෝජනයක් පමණි. වෙළඳාම සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් අනිවාර්යක්වූ විට අංකුර පාරිබෝගිකයෙක් බිහි කරමින් ක්‍රමයෙන් හට ගත් ප්‍රාථමික වෙළඳ පොළක් පූර්ව ධනවාදී යුගයන්හීදීද අපට දැක ගතහැක. ‍තෝරාගත් වෙළඳ බෝග සහ අප්‍රධාන භාණ්ඩ කිහිපයක ප්‍රවර්ධනය හැරුණ කොට සාපේක්ෂ වෙළඳ පොළ ආකෘතියක් ලෝකයට හඳුන්වාදීම යටත් විජිත යුගයේදීද මග හැරී ගියේය. අම්මා පාවිච්චි කළ මහන මැෂිම දියණියටත් දියණියගේ දියණියටත් වශයෙන් පරිබෝජන වටිනාකම පරම්පරා ගනනාවක් පුරා එක තැන නතර වී තිබුනේය. තවත් මහන මැෂිමක් එකතු කෙරුනේ නැත. තාත්තා පරිහරණය කළ උපකරණය හෝ භාණ්ඩය  පුතාගේද ජීවිත මෙවලම බවට යටත් කළ ප්‍රාථමික කුල ක්‍රමයත් ජාතිකවාදයත් ආගමිකවාදයත් කාර්මික විප්ලවයෙන් සියවස් කීපයකට පසුද ලොව පුරා සමහර තැනවල තවමත් පවතියි. යම් දවසක අන්තර්ජාතික වෙළඳ පොළ මහ පාරට පැමිණියේ නම් ඒ පැමිණියේ නාස්තිකාර ජාවාරමක් ලෙස හෝ වෙළඳ පොළසූරා කෑමේ යෝධ යාන්ත්‍රණයක් හැටියටය.
ධනවාදී ප්‍රාග්ධනයේ ආරම්භක යුගය වෙළඳපළ හැදී වැඩී පෝෂණය වන්නට නිරෝගී ගර්භාෂයක් මෙන්  විය. නමුත් පසුව එළැඹුන එහි හොඳම කාලයේදී ධනවාදය ක්‍රමයෙන් කොල්ලකාරී වෙමින් වඩ වඩාත් ම්ලේච්ච වෙමින් ප්‍රාග්ධනය හිංසන අවියක් කරගත්තේ මිහිමත බිහිවන්නට විළිරුදා දුන් නිවහල් වෙළද පොළ වහාම ගබ්සා කොට දමමිනි . ගෝලීය වෙළඳ පොළ යනු ධනවාදී ප්‍රාග්ධනයට අනුව අධිරාජ්‍යවාදී මූල්‍ය යාන්ත්‍රනයමය. ඒ සඳහා අවශ්‍ය තරමට වැඩියෙන් උදාහරන ලෝකයා ඉදිරි පිට ඇත. ඛනිජ තෙල් සහ දියමන්ති අපනයනයකරුවෙකි නයිජීරියාව. නමුත් ඒ සඳහා වන අන්තර් ජාතික වෙළඳපළේ පංගුව දියමන්ති සහ ඛනිජ තෙල් උදුරා ගෙන යන ධනවාදී ප්‍රාග්ධන හිමිකාරීත්වයටය. ඝානා, මාලි, බුකීනා කැෆේ අන්ත දුගී රටවල්ය. ආර්ජන්ටිනාවද සරු රටක් නොවේ. නමුත් නිපදවන්නේ රත්තරංය. ගොඩ ඒමක් මේ රටවලට නැත්තට නැති කරමින් මේ ධන සම්පත පොදි ගහ ගනිමින් සිටින්නේ ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මගිනි. ඉරාකය සහ ලිබියාව සුනු විසුනු කළේ ඛනිජ තෙල් සම්පත උදුරා ගන්නටය. ඒ ඛනිජ තෙල් වෙළඳපළම සිරියාව මරණයේ අඩවියක් කරමින් තිබේ..
වෙළඳපළ  ප්‍රාණ ඇපයට ගැනීම ධනවාදී ප්‍රාග්ධනය විසින් කිසිදා අත් නොහරින්නකි. යටත් විජිත රටවලට ඊනියා දේශපාලන නිදහස දුන්නාය කියන්නේ ආර්ථික වශයෙන් නව යටත් විජිතවාදයක් බිහි කර ගනිමින් බව දැන් හොඳටම පැහැදිළිය. අම්මා මුත්තා කාලෙවත් රට මෙච්චර ණය වී නැතැයි කියන්නට අපට සිදුවී ඇත්තේ එබැවිනි. ඖෂධ සහ කෘෂි රසායන මා‍ෆියාව ලෝකයම ලෙඩ කරමින්ද යුධ අවි ජාවාරම්කරුවන් ලෝකයම තනි සොහොන් යායක් කරමින්ද  අන්තර්ජාතික වෙළඳ පොලේ වැඩිම පංගුකාරීත්වය හිමිකරගෙන සිටී. තුවක්කුවක් පොලිස් නිළධාරියා අතට දුන්නද තුවක්කුවක් නිපදවීමේ මුක්තිය ඒ පොලිස් නිළධාරියා අයත් රටට නැත. ඇත්ත තත්වය නම් කාර්මික රටක් ලෙස අන්තර් ජාතික වෙළඳ පොළේ පංගුවක් අත් පත් කර ගැනීම අපට අවුරා ඇත. කාර්මික විප්ලවයේ ජයග්‍රහණය මිහිතලය පුරා පැතිර යාම වලකාලමින් ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් හරහා ධනවාදී ප්‍රාග්ධනය ප්‍රතිවිප්ලවය සිදු කළේය . 
ලෝකයම වේදනාකාරී ඉරණමකට යටත් කළ අපකීර්තිමත් ජාත්‍යන්තර වෙළඳ පොළ ගැන අඩුම බරින් කථා කළොත් එසේය. නොපවතින - යෝජිත හෝ කතිකාමය ගෝලීය වෙළඳ පොළ මේ අනුව මට නම් විෂුවලයකි. රටවල් යටත් කොට කීකරු කොට තබා ගැනීමට භාණ්ඩ වෙළඳ පොළ සහ මූල්‍ය වෙළඳ පොළක් ධනවාදී ප්‍රාග්ධනය සඳහා දැනටමත් පවතී. ඝ්Sඵ් + දීමත් උදුරා ගැනීමත් නැවත දීමට කේවල් කිරීමත් වඩ වඩාත් වටහා යුත්තකි. අපගේ අකීකරුකම කුමක් වුවත් යුරෝපීය රටවල් අපගේ මාලු මිළදී ගැනීම අතහැර දැමුවේ දඬුවමක් වශයෙනි. ජාත්‍යන්තර වෙළඳ පොළ කිට්‍ටු වූ යම් දුර්වල රටක් නම් සම්බාධක ගැන බියක් නිතර සිහි තබා ගත යුතුය. දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන කීකරුකමට සිටිය යුතුය. රුසියාව බිය නැත. ඉරානය බිය නැත. බෙහෙවින් ශක්තිමත් ඔවුනගේ යැපීම් මාර්ග බිඳ දැමිය හැකි නොවේ. දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු ආර්ථික සම්බාධක පැවැතියද දරා ගැනීමේ හැකියාව කියුබාවට තිබිණ. ගෝලීය වෙළඳ පොළ පිළිබඳ විෂුවලයෙහි දිග පළල වටහා ගත යුත්තේ පවතින මෙවැනි තත්වයන් සැල්කිල්ලට ගනිමිනි.  
ඉක්මනින් ගොඩ ගිය හැකි ගෝලීය වෙළඳ පොළක් යනුවෙන් අප අදහස් කරන්නේ සංචාරක කර්මාන්තය හෝ එබඳු සේවා ඔස්සේ උපයන විනිමයද. බහුජාතික සමාගම්වල ඒජන්තවරභාවය ලබා ගැනීම ඔස්සේ විනිමය ඇද ගැනීමද. ඒ ඕනෑ එකක් වේවා මේ ලිපිය මගින් අදහස් කරන්නේ ස්වීය ආර්ථිකයක් ධනවාදී ප්‍රාග්ධනයට යටත් ලෝකයක ප්‍රවේශම් සහගත මෙහෙයුමක් බව අඬ ගා කීමටය. වෙළඳපළ වගවීම මේතාක් හඳුනා නොගත් නිසාම ලොවින් තුරන් වන්නට නියමිත ධනවාදී කළමනාකාරීත්වය ඉතා බිහිසුනු හැසිරීමක් ලෝකය තුළ ප්‍රකට කරමින් සිටින බව රහසක් නොවේ. සිය ඒකාධිපතීත්වය පර්යන්තයේ රටවල් මත තබා යැපීම රුසියාව චීනය අභිබවා යමින් කෙසේ හෝ පවත්වා ගැනීම ඔවුනගේ ඉලක්කයයි. පැහැදිලිවම ලෝක බලතුලනය දෙබෑවෙමින් තිබේ. ගෝලීය වෙළඳ පොළ විෂුවලයක් අපට දෙන්නේ ඔවුන් මුහුන දී තිබෙන මෙන්න මේ අසීරු අවස්ථාවේ අග්ගිස්සේදීය.
නමුත් මා මුලින් පටන් ගත් තැනට නැවත නොපැමිණ මා ලිපිය අවසන් කිරීම නොකළ යුත්තකි. ගෝලීය වෙළඳ පොළ බිහිවිය යුතුමය. ගෞරවණීය ජීවිතයක් නිවහල් මරණයක් මිනිස් වර්ගයාට එතෙක් මෙතෙක් නැත. එහෙත් ඒ උත්කෘෂ්ඨ ගෝලීය වෙළඳ පොළ යනු නික්ම යන්නට නියමිතව සිටින ධනවාදී මූල්‍ය කළමනාකරණය එල්ලී ගනිමින් තව කලක් ‍රැඳී සිටින්නට මවා පෙන්වනු ලබන විෂුවලය නම් නොවේ.

ලිව්වේ නැදිමාලේ මිනිහෙක්
Share:

9 comments:

  1. ධනවාදී ක්‍රමය සමාජවාදයෙන් වෙනස් කරන්න බහ. අප දනන් සමාජවාදී මොඩලය අසමත්. පුරවැසි සහභාගිත්වයෙන් එන ආර්ථිකය පුරවැසිය විසින් පාලනය කරන වෙනසකින් තමා ඕක වෙන්න ඕනේ.

    ReplyDelete
  2. මම ඔයා එක්ක එකඟයි අජිත්. සමාජවාදය යන වචනය මමත් යොදා ගන්නෙ සංක්‍රාන්ති කාලයක් සඳහා විතරයි. අපි දන්න අසමත් සමාජවාදයේ අරුතින් නෙවෙයි. මොකද අපි දන්න සමාජවාදය අසමත් එකක් වුනත් අපි දන්න ධනවාදය ඊටත් වඩා අසමත් නිසා නාම පදයක් ලෙස සමාජවාදය යන වචනය තාම වලංගුයි.

    ReplyDelete
  3. මන් හිතන්නේ නැහැ ධනවාදය අප දන්නා සමාජවාදයට වඩා අසමත් කියල.ඒක සමත්. ඒ නිසා තමා කියුබාව තමන්ගේ අසමත් ස්ටලින්වාදී සමාජවාදය අත හරින්නේ. මේ ධනවාදයට වඩා දියුණු සමාජවාදය කියන්නේ පුරාසි බලය හරහා බිහි වෙන එකක් මිස ස්ටාලින් වාදී ආකෘතිය නොවේ.

    ReplyDelete
  4. ෂෝක් වචන සෙට් එක. මාරයි, පට්ට ක්‍රිටිසිසම්, හොම්බ කැඩෙන්න දීලා තියනවා ධනවාදයට.

    හැබැයි ඕවා නිකම් වචන විතරයි. ඔයත් මමත් දුවන්නේ ජීවිතය ජයගන්න. ඔය මොන දේශපාලන දර්ශනයවත් ඒකට වලංගු නැහැ.

    ReplyDelete
  5. බ්ලොගයට ආවේ අද......

    නෙලුම් යායෙන් තමා පාර කිව්වේ.... අපේ සින්ඩියටත් දා ගත්තා.... මෙන්න පාර

    http://kurutugegeepawra1.blogspot.com/

    අනික් බ්ලොග් සින්ඩිවලටත් යන්න.. ඒක බ්ලොගය කියවන්න එන අනික් අයටත් සහයක් වේවි....

    ReplyDelete
  6. කුරු‍ටු ගෑ ගී පවුර. බ්ලොගයෙන් බ්ලොගයට පාර අහගෙන - පාරට වැඩි බෝගන් විලා යටින් රිංගගෙන - කැඩුණු ඩ්‍රැනේජ් පියන් උඩින් පැනගෙන - පෙව්මන්ට් තට්‍ටුවල තොරොම්බොල් ඇහෙන් ලෙවකාගෙන - කුණු ගොඩවල්වලට වහ වැ‍ටුණු වීදි බල්ලො ඉන්න තැන්වලදි අනිත් පැත්තට පැනගෙන - මළවුන් සිහිකිරීමට ඉදිකළ සොහොන් කොත් වැනි බස් නැවතුම් බේරලා පාරට බැහැගෙන - කකුල් දෙකට වැඩියෙන් සෙරෙප්පු දෙක පරෙස්සම් කරගෙන අපි යමු. අහවල් තැනදි හමුවෙමු.

    ReplyDelete
  7. ඇනොනිමස්. ඔව් අපි දුවනවා. ඒක තමයි ඇත්ත. නමුත් මේක රිලේ එකක්. කංඩායමක් හැටියට දිනන්න ඕන. ධනවාදය පැවිලියන් එකේ ඉඳගෙන දැනටමත් කරන්නෙ අපිව අධෛර්යමත් කිරීම. ධනවාදය හැමවිටම ජනතාවට සතුරුයි. ඔවුන් දකිනවා අපි ඔවුන්ගේ විකල්පය බව. ඒකයි වැඩබිමේදි කාර්යාලයේදී කඩ පොළේදි මහමගදි අපේ ආත්මගරුත්වය කුඩු පට්ටන් කරන්නෙ. අපිව නිවටයින් කරන්නෙ. ඉතින් මේ ටික තේරුම් නොගන්නතාක් අපි දුවන්නෙ ඔවුන් දිනවන්න. අපේ ඉලක්ක කුඩු පට්ටන් කරගනිමින් අපි ඔවුන්ගේ ඉලක්ක ඉ‍ටු කරනවා... එළකිරිනේ.

    ReplyDelete
  8. අජිත් මම සමාජවාදය කියන්නෙ ස්ටැලින්වාදී ආකෘතිය හෝ ඩෙං ෂියා ඕ පෙං ආකෘතියක් ගැන නෙවෙයි. එය ලෙනින් මාඕ ට්‍රොස්කිවාදී ආකෘතියද නොවනු ඇත. ධනවාදයට විකල්පයක් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තිබෙනවා. සංක්‍රාන්ති කාලයක් තුළ සමාජවාදය ලෙස එය නාමකරණය කිරීමට මට ඉඩ දෙන්න. සමාජවාදය කියන වචනය දු‍ටු ගමන් එය කුමක් හෝ අසමත් ආකෘතියක හප්පා කුඩු පට්ටන් කර දමන උත්සාහය ධනවාදයට කීකරු වීමක්. කියුබාව හෝ ඕනෑම රටකට සම්බාධක දමා වටකර කොන්ද කඩා දැමීම ධනවාදයේ සමත්කම නොවේ නිවටකමක් විදියටයි මම දකින්නෙ.

    ReplyDelete

Copyright © miniහෙක් | Powered by Blogger Design by Asantha K. Mirissearachchige