මැතිවරණ ප්‍රතිඵලය තුළ මට හැඟී යන පරිදි කතිරය හෝ කතිරකාරයා රටේ ඉදිරි ගමනට කිසිසේත් තීරණාත්මක වී නොමැත. රට ගම පාලනයට සංවර්ධනයට සුදුස්සන් තෝරා ගැනීමේදී කතිරකාරයාගේ භාවිතය ඉතිහාසය පුරාවට අසාර්ථකය. වචන නාස්ති කර ගැනීමකින් තොරව පවසතොත් 2015 අගෝස්තු වරද කතිරකරු නැවත වටයකින් කර තිබේ. ජවිපේට වැඩි බලයක් දීම මෙවර ද අතපසු කර තිබේ. බොහෝ ප්‍රතිඵල විශ්ලේෂකයින් භාවිතයෙන් හුදු කතිරකාරයාට වැඩි ඉහළ තැනක නැති නිසා ඔවුන්ගේ විග්‍රහයන් තුළ ජවිපේ ලබන කතිරයට නිසි තැනක් නැත. ඔවුනට අනුව මේ මැතිවරණ ප්‍රතිඵලය මෛත්‍රීට රනිල්ට පාඩමක් ඉගැන්වීමකි. 2015 දී පවසා සිටියේරාජපක්ෂලාට පාඩමක් හැටියටය. කතිරකාරයාගේ භාවිතය ඔවුන් විග්‍රහ කර ගන්නේ තමන්ගේ භාවිතයට සාපේක්ෂවය. ආණ්ඩුව පැරැද්දූ ඡන්ද පාඩම් ඡන්ද හැටියට ගනිද්දී ආණ්ඩුවට පක්ෂව දුන් ඡන්ද කුමක්දැයි පැවැසීම මග හැර ගොස් තිබේ. පොදුවේ ඡන්ද කොයිකත් හුදු කතිර වශයෙනුත් ඡන්දදායකයා කතිරකාරයා වශයෙනුත් මගේ හඳුනාගැනීමයි.
කතිරකාරයා හිස නැති කවන්ධයක් බව මගේ පෙර ලිපියක ද සඳහන් කළෙමි. කතිරකාරයා ඡන්දදායකයා බවටත් කතිරය ඡන්දය බවටත් නිවැරදි වෙනතුරු රට ගොඩ ගිය මැතිවරණ ප්‍රතිඵලයක් සිතා ගත නොහැක. 2015 මැතිවරණයේදී වැඩි බලයක් ජවිපේට නොදීමේ විපාකය දිනෙන් දින වඩ වඩාත් රටට දැනෙමින් තිබේ. රට පුරා නිල පොලීසියක් හමුදාවක් සිටියද ආර්ථික ඝාතකයින්ගෙන් දූෂකයින්ගෙන් ජාතික දේපල හොරා කන වනචරයින්ගෙන් රටට වෙන අනතුර අවම කර ගන්නට නම් වැඩි බලයකින් ජවිපේ සවිබල ගැන්විය යුතු බව ඔලුව නැති කතිරකාරයාට වැටහීමක් නැත. වැඩි බලයකින් ජවිපේ සන්නද්ධ කිරීමේ කතිකාව මග හැර යන්නට ජවිපේ හොඳ හෝ නරක බැරි පුළුවන්කම් බාධාවක්කර ගැනීම තවදුරටත් සිදුවන්නේ නම් එය වරදකි. මේ ලියන මා ජවිපේ ක්‍රියාකාරිකයෙක් හෝ සගයෙක් නොවේ. නොපෑහීම් සහ ජවිපේ සමග ගැටළු මට ද තිබේ. නමුත් රටේ දූෂණය නාස්තිය ගැන නොපමාව සිතීමේදී විකල්පය ජවිපේය.
මේ මැතිවරණ ප්‍රතිඵලය තුළ සිදු කළ වෙනසක් නැත. පිරිසක් උද්දාමයට පත්වීමත් පිරිසක් සසල වීමත් කෘත්‍රිම ලෙස උත්කර්ෂයට නැංවීමක් මිස මැතිවරණයක මේ සාමාන්‍ය තත්වයයි. දිනන්නේ සුපුරුදු ඔළු ටිකමය. පැරදුනේ සුපුරුදු ඔළු ටිකමය. පශ්චාත් මැතිවරණ කසු කුසුව ද වගාලාප ද පුරුදු එකමය. වෙන එකක් තබා ප්‍රතිඵල නිකුත් කිරීමේ කොමාගේ යාන්ත්‍රණය ද සුපුරුදු අංග විකල බවම ප්‍රකට කළේය. දේශපාලනය හොරුන්ගෙන් මුදා ගැනීමට මූල්‍ය රැකවරණයට ආර්ථික සංවර්ධනයට ජාතික සංහිඳියාවට සාධනීය බලපෑමක් කෙරෙන ප්‍රතිඵලයක් මේ මැතිවරණය තුළින් රටට දී නැත.
කතිරකාරයා ඡන්දදායකයා බවට උසස් කර ගත යුතුය. දියුණු කර ගත යුතුය. එතැනට එන තෙක් ජවිපේ සදහටම ඔතනය. රට ද එතැනමය. අවසන් වුනු පළාත් පාලන මැතිවරණයේදී ජවිපේ සිතා ගෙන සිටියේ රටේ ගොඩනැගෙමින් තිබුනු ආණ්ඩු විරෝධය හොර රහසේ නොකර සද්දයෙන් ඇවිදින් ජවිපේ වටා ඒකරාසී වනු ඇති බවය. නමුත් එය ඒකරාසී කර ගන්නට සමත් වූයේ රාජපක්ෂ කඳවුර බව ජවිපේ අනුර දිසානායකම මේ වනවිට පිළිගෙන තිබේ. තමන් වටා ඒකරාසී වෙන තෙක් නොසිට ඒකරාසී කර ගැනීම අනුරට වඩාරාජපක්ෂ දැන සිටියේය. ගොඩනැගුණු ආණ්ඩු විරෝධය ඇත්ත වශයෙන්ම සංවිධානය කළේ ජවිපේය. අතට ගත්ත දේ කටේ දමා ගන්නට ජවිපේ රාජපක්ෂ කඳවුරෙන්වත් ඉක්මනින් උගත යුතුය. කතිරකාරයාට සැබෑ ඡන්දදායකයෙක් වීමේදී ජවිපේ පූර්වාදර්ශයක් වන්නේ එවිටය.
